custom_html_banner1
ENTERTAINMENTගොසිප් පුවත්තරු හුට පට

මංගලගේ චරිතෙට එන්න හිටියේ රන්ජා, මම අඩියක් පස්සට තියලා නම මාරු කරා ලයිට් උපාලි කියලා – වස්ති අනුෂ්ක ආන්දෝලනාත්මක ලයිට් උපාලි වීඩියෝව ගැන මාධ්‍යයට කල මුල්ම හෙළිදරව්ව

custom_html_banner1
Spread the love

‘වස්ති ප්‍රඩක්ෂන්’ යනු යූටියුබ් සමාජ මාධ්‍ය ජාලය තුළ ලංකාවේ අතිශය ජනප්‍රිය නාළිකාවකි. ඔවුන් විසින්සිය නවතම නිර්මාණය ‘ලයිට් උපාලි’ නමින් සිය නාළිකාව හරහා ඊයේ (19දා) යූටියුබ් අවකාශයට එක්කර තිබිණි.කෙසේ වුවද යූටියුබ් අවකාශයට මුදාහැරි මොහොතේ සිටම ආන්දෝලනාත්මක වීඩියෝවක් ලෙස සමාජ මාධ්‍ය තුළශීඝ්‍රයෙන් පැතිරී ගිය එම වීඩියෝව පිළිබඳ වස්ති ප්‍රඩක්ෂන්ස්හි අනුෂ්ක උදාන සමග අපි මෙලෙස කතාබහ කළෙමු.

‘ලයිට් උපාලි’ ආන්දෝලයක් ඇති කළා නේද?

වස්ති ඉතිහාසයේ මේචචර කල් නොතිබුණු රීච් එකක් ආපු වැඩක්. ලංකා ඉතිහාසයේ යූටියුබ්වල කරපු ලොකුම වැඩක් මේක. අපි තමයි මුලින්ම පැය 24ක් ඇතුළත මිලියනයක් වීව්ස් ආපු වැඩේ කළෙත්. මේකත් පැය 24ක් යන්න කලින් මිලියනයක් බැලුවා. ඒ රෙකෝඩ් එක අලුත් කළා.

කොහොමද මෙහි වැඩ කටයුතු සිදු වුණේ?

මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕන මේ කරපු වැඩේ ඇතුළෙ ඉන්න කම්පැනි එකට. ඒක අයිති කෙනාට. Bitzean කොල්ලෝ ටිකට. මේ කට්ටිය හම්බවෙන්නෙ ගිය අවුරුද්දේ ජූලිවල. එතකොටත් මගේ වැඩ කිහිපයක් මගේ ක්ලයන්ට් එක්ක මාස දෙකකට යෙදිලා තිබ්බේ. ඒ වැඩ ටික ඉවර කරලා තමයි කරන්නේ කියලා අපි කිව්වා. ඊටපස්සේ ආයේ කොරෝනා ප්‍රශ්නය ආවා. ආයේ වැඩ ටික පස්සට ඇදුණා. මේ ක්ලයන්ට් මාස 09කට වඩා කාලයක් මාත් එක්ක හිටියා. ඇඩ්වාන්ස් කරලා මගේ ජීවිතයේ එච්චර මාස ගාණක් ක්ලයන්ට් කෙනෙක් එල්ලිලා ඉඳලා නැහැ. ඒ මනුස්සයාට පුදුම ඉවසීමක් තිබුණා. ඒ අයත් අවුරුදු 04ක් මේ ඇප් එක ඩිවලොප් කරලා. ඒ අයගෙත් ඉලක්කය වුණේ මුළු ලෝකෙම තියෙන සල්ලි අපේ රටට ගේන්න. ෆේස්බුක් වගේ එකක් හදලා ලෝකයටම විකුණන්න පුළුවන් ජාතියේ ලංකාවේ ප්‍රඩක්ට් එකක් හදලා තිබ්බා. ඒක දීර්ඝකාලීන සැලසුමක්. ඒ නිසා ඒ වැඩේට මට ආසා හිතුණා. මට මේක කන්සෙප්ට් එක ආවේ රජකතාවක්. වෙන මිනිස්සු වගේ වත්ත වටේ වීඩියෝ කර කර යන්නේ නැහැනේ මං. මට ඒ ලොකේෂන් ඕන, ඒ කොස්ටියුම් එක ඕන ඒ ඩ්‍රාමා එක පෙන්වන්න. ගොඩක් අයට මේක වදිනවා හරි, රිදෙනවා හරි වෙන්න ඇත්තේ මම හරිම තැන හරිම විදිහට ගත්තනිසා වෙන්න ඇති.

රජ කතාවක් කියලා ගෙදර කළොත් ඕක දැනෙන්නෙ නැහැනේ. මුලින්ම මම අනුරාධපුරේ තමයි ශූට් කරන්න ප්ලෑන් කළේ. එහෙ වටපිටාව එක්ක මිනිස්සු 120ක් විතර දාලා වැඩේ කරන්න බැලුවාම ට්‍රැවලින් කොස්ට් එක විතරක් තව ලක්ෂ 07ක් විතර වැඩි වෙනවා. ඊටපස්සේ වැඩේ නැවත බලාගෙන යද්දි තමයි මට ඔය Light of Asia කියන එක සෙට් වුණේ. එතන Chairmanවත් මතක් කරන්න ඕනේ. ඉතිං මම මේ ගැන ගණන් බලලා හදනකොට ඒක ලොකු ගානක් වුණා. ඉතිං මම ක්ලයන්ට්ට ඒක කිව්වා. සාමාන්‍ය මගේ වියදමට වඩා තව ලක්ෂ 15 – 20ක් මේ වැඩේට වැඩි වෙයි කිව්වා දවස් දෙකක වැඩක් නිසා. හැමදේම මම විස්තර කිව්වා. ඒ විදිහට ගණන් කිව්වාම ක්ලයන්ට් කෙනෙක් “හරි මම බලලා කියන්නම්* කියලානේ ෆෝන් එක තියන්නේ. ඒ මනුස්සයා ඒ මොහොතෙම කිව්වෙ ඔයාට ඕනේ නම් ඒ ගාණ අරන් කරන්න, මට ඔයාව ෂුවර් කිව්වා. ඒ මනුස්සයා ඒකට කැමැත්ත දුන්නා. නමුත් ඒ වෙද්දිත් මගේ “ඒක නම් පිස්සුවක් බං’ සිංදුව ශූට් කරන්න තිබ්බා. ඊට කලින් ‘හීන’ කියලා ව්‍යාපෘතියක් තිබ්බා. ඒ වැඩ දෙක වෙනකම් ඒ මනුස්සයා ඒක ඉවසගෙනත් හිටියා. ඊට පස්සේ තමයි අත ගැහැව්වේ. මේක දවස් දෙකකට වැඩේ කළා. එක දවසක් පාන්දර 06.00ට වැඩේ ආරම්භ කළා. එදා 180ක් විතර වැඩ කලා.Light of Asia එකේ පැය 26ක් එක දිගට වැඩ කළා. දෙවෙනි දවසේ නිකවැරටියේ ශූට් කළේ. එහෙම ලොකු කාලයක් එක්ක තමයි මේ වැඩේ කළේ. මේකට වියදම් වුණේ ෆිල්ම් එකකට යන වියදමෙන් 10න් එකක් වගේ. මට ෆිල්ම් එකකට වගේ බජට් එකක් දුන්නොත් මම ගහනවා ලංකාවේ සුපිරිම කොමඩි ෆිල්ම් එක.

ඇයි මේ වැඩේට දේශපාලන චරිතයක් එක් කරන්න හිතුවේ?

custom_html_banner1

ඔය මංගල සර්ගේ චරිතයට එන්න හිටියේ රන්ජා. රන්ජන් රාමනායක මහතා. එයා නළුවෙක්නේ. එයා දේශපාලන චරිතයක් වුණත් මට එයා නළුවෙක්. මේ වැඩේ ප්ලෑන් කරගෙන ඉන්නකොට මේ මනුස්සයාව අල්ලලා හිරේ දැම්මනේ. එතකොට ස්ක්‍රිප්ට් එක ලියලා ඔක්කොම වැඩ ප්ලෑන් කරලත් ඉවරයි. මට රජෙක් කියලා මොකක් හෝ චරිතයක් ගෙන්න ඕනේ වුණේ නැහැ. ඇත්තටම පවතින ඉතිහාස කතාවල යුද්ධ පෙන්වන්නේ නැත්තේ යුද්ධෙ පෙන්වන්න සල්ලි නැති නිසානේ. යුද්ධයකට මාර වියදමක් යනවා. පිටරවලට යුද්ධෙ පෙන්වන්නේ සල්ලි තියෙන නිසා. ඉතිහාස කතා කිහිපයකම යුද්ධය ගාවටම එනවා. ගහගන්නේ නැහැ. හැබැයි යුද්ධයක් වුණා. ඉතිං මටත් ඒ සෙතේමනේ. මාත් කල්පනා කළා. යුද්ධයට යන්න ඕනේ නැහැ හැබැයි යුද්ධයටගේනවා හොඳ චරිතයක් කියලා.

කොහොමහරි රන්ජන් රාමනායක මහතාගෙ තැනට විවිධ චරිත මගේ ඔළුවට ආවා. ඒ අතරෙ මංගල සමරවීර මහත්තයා ටික්ටොක් කරනවා කියලා ඔළුවට ආවා. මං දැකලත් තියෙනවා. “මම දැන් ටික්ටොක් කරනවා, රිලැක්ස් එකේ ඉන්නවා* කියලා මම දැක්කා ඔහු ඉන්ටර්විව් එකකත් කියනවා. මගේ ඉතාම ළඟම යාළුවෙක් වන සමීර අයියා තමයි මංගල සමරවීර මහත්තයගෙ ලේකම්. මම සමීර අයියාගෙන් ඇහැව්වා මගේ වැඩකට සර්ට එන්න කිව්වොත් සර් එයිද කියලා. “අපෝ එයි, දැන් එයා එයාගේ පාඩුවේ දේශපාලනයෙත් නැති නිසා වැඩ කරගෙන සැහැල්ලුවෙන් ඉන්නවා” කිව්වා. මම මංගල මහත්තයාගෙන් අහපු ගමන් ඔහු කිව්වෙ නැහැ “හරි මම රඟපාන්නම්’ කියලා. මම ගිහින් කතා කරලා, ස්ක්‍රිප්ට් එක මොකක්ද කියලා අහලා ඒ වගේ කතාබහක් වෙලා තමයි ඔහු මේ වැඩේට කැමති වුණේ. මම විශේෂයෙන් ඔහුගෙ දකින මහත්මා ගතිය තමයි ඔහු අපහාසය සහ උපහාසය තේරුම්ගන්න පුළුවන් මනුස්සයෙක් කියන එක. අපේ මිනිස්සුන්ට නැති එකම දේ තමයි අපහාසය සහ උපහාසය තේරෙන්නේ නැති එක. අපි මේ කරන කොමඩි වැඩේ මේ ගරු වෘත්තියක් කියලා කියවගන්න ඕනේ නැහැ මට‍. හැබැයි අපි කරන්නේ වෙන වැඩක්. මම පුළුවන් තරම් හොඳප්‍රඩක්ෂන් කොලිටියකින් තමයි මිනිස්සුන්ට කොමඩි බලන්න දෙන්නේ. ඉතිං ඒක කරන්නම් වාලේ කරනවාට, නිකම් විහිළුවක් කරනවාට වඩා ප්‍රඩක්ෂන් කොලිටිය තියෙන විහිළු කරන්න, දවසින් දවස පියවරින් පියවර තියාගෙන යනවා. මිනිස්සුන්ව පිනවන්න එකතු කර ගන්න අලුත් අලුත් දේවල් තමයි මේ. ඒ දේවල් කරන්නේ මිනිස්සුන්ව පිනවන්න. නැතුව මට ආතල් එක්ක ගන්න නෙමෙයි. ඕක දාලා මම බල බල ඉන්නවාට වඩා මම කැමතියි මිනිස්සුන්ගේ ප්‍රතිචාරය මොකක්ද කියලා බලන්න. ඉතිං මම හිතනවා මේක වෙනසක් වෙයි කියලා.

මේ වැඩේ කරළියට එන්න ඉස්සෙල්ලා විවිධ විවේචන, විරුද්ධවීම් ආවා නේද?

මම මේ කන්ටෙන්ට් එක කෙරුවේ යූටියුබ් එකටනේ. මම දන්නෙ නැහැ මේක මෙච්චර යූටියුබ්වලට බර වැඩිද කියලා. මම කියන්නෙ නැහැ මේක තමයි ලංකාවේ සුපිරිම වැඩේ කියලා. හැබැයි මේ වගේ ප්‍රඩක්ෂන් කොලිටිය තියෙන වැඩක් මගේ දැනුවත්කමින් යූටියුබ් එක ඇතුළෙ නැහැ. ඒක වුණේ මේකේ දේවල් ෆිල්ම් එකක් වගේ ඒ අය දැක්කා. හරිම ඇඳුම් ඇඳගෙන, හරිම තැනක ඉන්න කතාවක්. මේක මේඅය සීරියස්ගත්තා. දැනටත් මගේ මතය අපි තාම’ගොන් පාට් යූ ටියුබ් චැනල් එකක්’ කියන එක. මේක ආතල් එකට කොල්ලෝ ටිකක් කරන වැඩක්නේ. සමස්ත රටක් නියෝජනය කරන කෙනෙක් හෝ ඉතාමත් රාජ්‍යතාන්ත්‍රික දැන හැඳුනුම් තියෙන මනුස්සයෙක් මේ වැඩේට ඉන්වෝල් වෙනවා කියන්නේ ඒ තරමට වස්ති ලොකුයිද? ඒකට බය වෙන්න ඕනද? අපි නමේ හැටියට වස්ති නම්, කුණු ගොඩක් නම් අපිව නොසලකා හරින්න පුළුවන්නේ. මං වගේම සබ්ස්ක්‍රයිබ් තියෙන ඔය ගොල්ලෝ ආදරය කරන එක එක ජාතියේ නම් වලින් කරන යූටියුබර්ස්ලා ඉන්නවා. ඒ අයත් විහිළු කරනවා. ඉතිං වස්තිවල මොකක්ද අවුල? නැත්නම් මගේ නැකතේ අවුලක්ද මම කරන වැඩේ මිනිස්සුන්ට මෙච්චර දැනෙන්න. මම දන්නේ නැහැ මේක මිනිස්සු මොන විදිහට තේරුම්ගනිද කියලා.

මට කාටවත් බොරු කියන්න ඕනේ නැහැ. මම මේ Trailer එකට දැම්මෙ කතාවෙ නැති දේවල්. මේකෙ වැඩකරපු ඕනෙම කෙනෙක්ගෙන් අහන්න. ඒ හැමෝම දන්නවා මගෙ උවමනාව සහ අදහස වුනේ මේ එන කතාව මේ Trailer එකෙන්වත් දැනගන්න ඕනේ නැහැ කියන එකයි. ඒකයි මම Trailer එකට මංගල මහත්තයාවත් දැම්මේ නැත්තේ. මුළු ලෝකෙම කරන එකක් තමයි Film එකේ තියෙන හොඳම ටික Trailer එකට දානවා. ඊටපස්සේ කතාව බලලා කියනවා Trailer එකේ තරම් මුකුත් නැහැ කියලා. කතාව ඇතුළෙ තියෙන හයිප් එක තියා ගන්න ඕන නිසා මගේ මොළේට ආපු එකක් මත ඒ ලොකේෂන් එකේ එවෙලෙ හිතට එන ඒවා කිහිපයක් නැවත කළා. පරිප්පුවට නිවිති දානවට විරුද්ධ වුණේ අද ඊයේ නෙමෙයි. ඒක ටේක් එකයි ඒක කළා. ඊටපස්සේ හිරුෂගෙ එකත් තිස්ස කියද්දි මතක් වෙන්නෙ මෙයාව, පස්ස කියද්දි මතක් වෙන්නේ ඔයාව කියලා නිකමට ප්ලෑන් කරලා වෙනම ආතල් එකක් කළා. මුලක් අගක් මැදක් සම්බන්ධ නැති කතාවක්වත් හිතාගන්න පුළුවන්ද ඔහොම දෙබස් ටිකක් ආපුවාම. ඒක තමයි මට කරන්න ඕනේ වුණේ. අනේ මේ අය ඇඳගත්තා.

මේක ඇතුළෙ ඇති ඉතිහාස කතාවක් නැහැ. ලංකා ඉතිහාසයේ උපාලි කියලා රජ කෙනෙක් හිටියද? කොහෙද හිටියේ? මම කිසිම බෞද්ධ සංකේතයක් කිසිම දෙයක් පාවිච්චි කරලා නැහැ. මොකද මම බෞද්ධ පොත්පත් හොඳට කියවන මනුස්සයෙක්. ආලෝකෝ උදපාදි නමටයි මේ අය එල්ලෙන්නේ. මේ කියන දේ ඕනේ නම් චත්‍ර අයියාගෙන් අහන්න. මම ඉතාමත් ආස කරන කතාවක් වලගම්බා රජුගේ කතාව. මගේ වියදමින් තමයි වස්ති එකේ සෙට් එක එක්කන් ගිහිල්ලා ආලෝකෝ උදපාදි ෆිල්ම් එක පෙන්නුවේ. 2017දී මට ලොකුවට සල්ලිත් නැහැ. මම මාර ආසයි ඒ චිත්‍රපටයට. මම එහෙම බලලා ඇවිල්ලා මම චත්‍ර අයියට මැසේජ් එකක් දැම්මා මට මේක දකිද්දී හිතෙනවා පැරඩි එකක් ගහන්න අලෝක උපාලි කියලා. මම මේක කවදාහරි ගහනවා කියලා. චත්‍ර අයියා මට රිප්ලයි එකක් දැම්මා උඹ අනිවාර්යයෙන්ම ඒක කරයි කියලා. වලගම්බා කතාවට විහිළුවක් ගහන්න නෙමෙයි උවමනා වුණේ. මට හිතුණා මාර රජ විහිළු කතාවක් ගහන්න. මම කවදාහරි රජ කතාවක් ගහනවා මගේ තියෙන වයිබ් එකෙන්. ඒකේ නම ආලෝක උපාලි වෙන්න පුළුවන්. කිසිම දෙයකට අපහාස කරන්න නෙමෙයි. ඒක මට ආපු අදහසක් විතරයි. උපාලි කියලා රජෙක් නමින් ගහන්න ඕන අමුතුම විහිළු කතාවකින් කියලා. ඒක මගේ ඔළුවෙ තිබ්බා. මේ ආපු කමර්ෂල් එකත් එක්ක මට හිතුණා නම දාන්න මේක‍. ඒක මගේ හිතේ තිබ්බ වෙන එකක්. වැඩේ කරගෙන යද්දී ඒක වෙනම එකක් වුණා. මම චිත්‍රපට මූඩ් එක ගන්න තමයි මේ නම දැම්මේ. අනුරාධපුර ලොකු හාමුදුරුවෝ මම හඳුනනවා මගේ යාළුවෙක්ගේ මාර්ගයෙන්. මං ඒ උන්වහන්සේට කතා කරලා මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා, අපි හිතුවෙ නැති වුණාට කට්ටියක් වෙනත් මතයකට ඇවිල්ලා ඉතිහාසය වෙනස් කරලා ජෝගි නටන්න හදනවා කියලා හිතාගෙන යනවා. මම දන්නවා නඩු මාර්ගයට ගියත් මේකට කියන්න දෙයක් නැහැ කියලා. නමුත් මගේ මානුෂීය කෑල්ල සහ ඇත්තටම මම බුද්ධ ධර්මය එක්ක ඉන්න මනුස්සයෙක් නිසා මේක කවදාහරි මගේ කර්මයට බලපායි, මගේ ආතල් එකට වුණත් මම අඩියක් පස්සට තියනවා කියලා නම මාරු කරලා ලයිට් උපාලි කියන නම දැම්මා.

වැඩේ ඇතුළෙ ලාංඡන කිහිපයක් ගැන ලොකු කතාවක් ආවා නේද?

ඕක ප්‍රශ්නයක් වුණාද කියන එක තමයි මටත් අහන්න තියෙන්නේ. ඇත්තටම ඕක වුණේ මෙහෙමයි. අපි කතාව ඇතුළෙ ඇමතිලා කිහිප දෙනෙක් පත් කළා. යුද, ටික්ටොක්, විදෙස් වගේ ඇමති කිහිප දෙනෙක්. ඔවුන්ගේ ඇඳුම් වලට එක එක අන්‍යනතා දුන්නා. ඒකෙදි කොස්ටියුම් ඩිසයින් කරපු කෙනා මේ කියන බැජ්සෙට් එක ගහලා තිබ්බා. ඒක මම දැක්කෙත් මේකප් රූම් එකේදි. එතනදි මම උගෙන් ඇහැව්වා මේක ප්‍රශ්නයක් වෙයිද කියලා. ඊටපස්සේ ඔහු තමයි කිව්වෙ ‘අනේ ඕක පිටකොටුවෙ ගන්න තිබුණ එකක්” කියලා. ඊට පස්සේ ඔහු කිව්වා මම ඕක චිත්‍රපට කිහිපයකටත් කළා කියලා ඒවල නම් කිව්වා. කොහොම හරි මගේ හිතවතෙක් තමයි කිව්වේ ඕක ප්‍රශ්නයක් වෙයි කියලා. මම ඒ වෙන කොටත් ඒක මේ වීඩියෝව ඇතුළෙ හදලා ඉවරයි. ඒකට එන ප්‍රතිචාර බලන්න තමයි ට්‍රෙලර් එකට මම ඒක දැම්මේ. ඒ කෑල්ලට කොච්චර දෙනෙක් ප්‍රතිචාර දැක්වූවාද කියලා හැමෝම දකින්න ඇති. ඉතිං මම කියන්නේ මේ බැජ් ටික ප්‍රශ්නයක් වෙනවා නම් ඇයි ඒවා මේ පිටකොටුව වගේ තැන්වල ගන්න තියෙන්නේ. ඒකට මීට වඩා වගකීමක් ඇතුව දෙයක් වෙන්න ඕනෑ. අඩුම තරමේ මේ දෙය අහලා බලන්නවත් තැනක් තියෙන්න ඕනෑ. එවැනි දේවල් නැති එකම තමයි හැම කාරණාවකටම ගැටලුවක් වෙන්නේ. ඒ දේවල් හැදෙන්න ඕන කියන එකයි මගේ අදහස.

ඩිලාන් ක්‍රිෂාන්ත
saravita.lk

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button