custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

ඔන්ලයින් අධ්‍යාපනයට ඉන්ටර්නෙට් සොයා ගස් නගින කොළඹ දිස්ත්‍රික්කයේ දරුවන් පිරිසක්

custom_html_banner1
Spread the love

කොළඹ දිස්ත්‍රික්කය යනු බොහෝ සැප සම්පත් හිමි දිස්ත්‍රික්කයක් ලෙස බොහෝ දෙනා සලකති.

එවැනි වටපිටාවක් තුළ කොළඹ දිස්ත්‍රික්කය තුළ වෙසෙන දරුවන් පිරිසක් ඔන්ලයින් ඔස්සේ අධ්‍යාපනය ලැබීම සඳහා ගස් මත නැග ඉන්ටර්නෙට් සොයා වෙහෙසෙන බව කීවොත් ඔබ පුදුම වනු ඇත.

කොළඹ දිස්ත්‍රික්කයේ මායමේ වෑවිල කළටුවාව ප්‍රදේශයේ පදිංචි දරුවන් පිරිසක් ඉන්ටනෙට් සංඥා සබඳතාව නිසි අයුරින් නොලැබීම හේතුවෙන් අඩි 40 ක් පමණ උස් ගස් මත තැනූ අට්ටාල මත නැග දුරකතන ඔස්සේ ඔන්ලයින් අධ්‍යාපන කටයුතු සිදු කරන බව අප වාර්තාකරු පවසයි.

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ, සාමාන්‍ය පෙළ සහ ශිෂ්‍යත්ව විභාගවලට මුහුණ දීමට නියමිත දරුවන් මෙන් ම අනෙකුත් ශ්‍රේණිවල ඉගෙන ගන්නා දරුවන් ද තම ජංගම දුරකථනවලට අවශ්‍ය ඉන්ටනෙට් සංඥා නොලැබීම නිසාවෙන් මෙලෙස අට්ටාල මත නැග අධ්‍යාපන කටයුතු සිදු කරන බව වාර්තා වේ.

අප වාර්තාකරු පවසන්නේ, කොළඹ සහ රත්නපුර දිස්ත්‍රික් මායම් ගම්මානයක් වන රත්නපුර දිස්ත්‍රික්කයට අයත් වෑවිල කළටුවාව ප්‍රදේශයට දුරකතන සමාගම් මගින් ලබා දෙන ඉන්ටනෙට් සංඥා සබඳතාව නොලැබීම හේතුවෙන් ඔවුන්ගේ නිවාස අසළ උස් ස්ථානවල ගස්වල අට්ටාල බැඳ ඒ මත නැග උදෑසන සිට රාත්‍රී වනතුරු ම දරුවන් ඔන්ලයින් අධ්‍යාපන කටයුතුවල නිරත වන ආකාරය මේ දිනවල දැක ගත හැකි බවය.

මේ සම්බන්ධයෙන් වසරකට වැඩි කාලයක සිට අදාළ දුරකතන සමාගම් දැනුවත් කළ ද මෙතෙක් ඒ සඳහා විසඳුමක් ලබා දීමට කිසිවෙකු කටයුතු කර නැතැයි ප්‍රදේශ වාසීහු මැසිවිලි නගති.

එබැවින් දුරකතන සංඥා යාන්තමින් හෝ ලැබෙන උස් ප්‍රදේශවල පිහිටි ගස්වල අට්ටාල බැඳ හැකි අයුරින් දරුවන් අධ්‍යාපන කටයුතුවලට යොමු කළ බව එම දරුවන්ගේ දෙමාපියෝ පවසති.

custom_html_banner1

අනෙක් දරුවන් මෙන්ම තම දරුවන් ද ඉගෙන ගැනීමට ආසාවෙන් පසුවෙන බවත් සමහර දිනවලදී දරුවන් දුරකතන සංඥා නොමැතිව ඉගෙන ගැනීමට නොහැකිව හඬා වැළපෙන ආකාරය දැක අවදානමක් සහිතව වුවත් මෙලෙස දරුවන් අධ්‍යාපන කටයුතු සඳහා යොමු කිරීමට සිදුව ඇති බව ද දෙමාපියෝ පවසති.

ඔවුන් පවසන්නේ, බොහෝ දරුවන් කොළඹ දිස්ත්‍රික්කයට අයත් පාදුක්ක ආසන්නයේ පාසල්වල ඉගෙනුම ලබන බවත් අනෙක් දරුවන් පාඩම් කටයුතු දිනපතා සිදු කරද්දී තම දරුවන්ට දුරකතන සංඥා නොමැති වීම නිසා අදාළ පාඩම් කටයුතු නිසි ආකාරයෙන් කර ගත නොහැකි වූ බවත් ය.

එබැවින් මේ පිළිබඳව අවධානය යොමුකර අවශ්‍ය කටයුතු සිදු කරදීමට මැදිහත් වන ලෙස වෑවිල කළටුවාව ගම්මානයේ දරුවෝ සහ දෙමාපියෝ ඉල්ලා සිටිති.

චම්පා ජීවන්ති – පනාගොඩ
Source – Mawbima.lk

 

 

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button