දේශීය පුවත්ප්‍රධාන පුවත්

සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පවුලේ සාමාජිකයින් වෙනුවෙන් GMOA ආණ්ඩුවෙන් කළ විශේෂ ඉල්ලීම

කොවිඩ් මර්දන එන්නත් ලබා දීමේදී සෞඛ්‍ය කාර්ය මණ්ඩල මෙන් ම ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් ද අධි අවදානම් කණ්ඩායමක් ලෙස සලකා එම එන්නත් ලබා දිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පවසයි.

ලේකම්වරයා මේ බව සඳහන් කළේ, ඊයේ (මැයි 17) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ය.

මේ වන විට රෝහල් පද්ධතියට සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට දරා ගත නොහැකි ලෙස සක්‍රීය කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 25,000 ඉක්මවා වාර්තා වන බව ලේකම්වරයා පෙන්වා දෙයි.

එමෙන් ම, වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල ද ඇතුළුව ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් අතර ද කොවිඩ්-19 වසංගතයේ ව්‍යප්තවීමක් දක්නට ලැබෙන බව පවසන ලේකම්වරයා ප්‍රකාශ කළේ, ඒ හේතුවෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල මානසික ඒකාග්‍රතාව බිඳ වැටී ඇති බවය.

ඒ හේතුවෙන්, තම සංගමය රජයෙන් සහ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලා සිටින්නේ, කොවිඩ් මර්දන එන්නත ලබා දීමේදී සෞඛ්‍ය කාර්යමණ්ඩල ඇතුළු ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් ද අධි අවදානම් කණ්ඩායමක් ලෙස සලකා එම එන්නත ලබා ගැනීම සඳහා යොමු කරන ලෙසය.

මේ සම්බන්ධයෙන් ලිඛිතව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත දැනුම් දීමක් කර ඇති බව ද වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

තාරක සම්මාන්
Source – mawbima.lk

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button