custom_html_banner1
දේශීය පුවත්

කූඨ ලේඛනවලින් අනුලාවට ගත් සිසුවියන් 6 දෙනෙකු ඉවත් කරන්නැයි නියෝග

custom_html_banner1
Spread the love

කූට ලේඛණ උපයෝගි කරගනිමින් 2020 වසරේ පළමු ශ්‍රේණියට නුගේගොඩ අනුලා විද්‍යාලයට ඇතුළත් කෙරුණු ළමයින් හයදෙනෙකු වහාම ඉවත් කරන ලෙසට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විද්‍යාලයේ විදුහල්පතිනියට නියෝග කර තිබෙනවා.

ඒ අනුව අදාළ ළමයින් වෙනුවට අවසාන ලැයිස්තුවේ පොරොත්තු ලේඛනයේ සිටින සිසුවියන් හයදෙනෙකු කඩිනමින් විද්‍යාලයට ඇතුළත් කරගන්නා ලෙසටයි අමාත්‍යාංශ ලේකම්වරයා ජනවාරි මස 19 වනදා යොමු කළ ලිපියේ දැක්වෙන්නේ.

අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාගේ නියෝගයට අනුව පොරොත්තු ලේඛණයේ සිටි සිසුවියන් හයදෙනා විද්‍යාලයට ඇතුළත් කරගෙන ඇති අතර, කූට ලේඛණ මගින් පාසලට ඇතුළත් කරගෙන තිබූ සිසුවියන් හයදෙනා තවමත් ඉන් ඉවත් කර නැහැ.

කෙසේ වෙතත් අදාළ සිසුවියන් හයදෙනා කඩිනමින් පාසලෙන් ඉවත් කිරීමට අදාළ කටයුතු මේ වනවිටත් සිදුකරමින් පවතින බවයි නුගේගොඩ අනුලා විද්‍යාලයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ.

එමෙන්ම ප්‍රධාන අභ්‍යන්තර විගණක විසින් ලබාදී ඇති නිර්දේශ මත කූට ලේඛන සකස් කරන ලද පාර්ශවයන් සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු කිරීම සඳහා පොලිස්පති වෙත පැමිණිල්ලක් කරන ලෙසද අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා නුගේගොඩ අනුලා විද්‍යාලයට නිකුත් කරන ලද ලිපියෙහි දැක්වෙනවා.

පසුගිය වසරේ අනුලා විද්‍යාලයේ පළමු ශ්‍රේණියට සිසුවියන් ඇතුළත් කරගැනීමේදී කූට ලේඛන සකස් කර සිදුකළ අක්‍රමිකතා රැසක් පිළිබඳව මුල් වරට හිරු ප්‍රවෘත්ති අංශය අනාවරණය කළා.

විගණකාධිපති දෙපාර්තමේන්තුව ද මාස දෙකකට අධික කාලයක් අදාළ විමර්ශන සිදුකළ අතර, එම විද්‍යාලයේ එවකට හිටපු විදුහල්පතිනි ජයනි ප්‍රෂංගිකාට මූල්‍ය අක්‍රමිකතා සිදුකළ බවට සහ තවත් චෝදනා රැසක් ද එල්ලවී තිබුණා.

custom_html_banner1

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය අනාවරණ කිරීමත් සමඟ හිටපු විදුහල්පතිනියට සහය දක්වමින් සහ හිරු ප්‍රවෘත්ති අංශයට එරෙහිව පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී අනුලා විද්‍යාලය ඉදිරිපිට විරෝධතා කිහිපයක්ද සිදු කෙරුණා.

විරෝධතාවයේ නිරත පිරිස ප්‍රකාශ කර සිටියේ විගණකාධිපති දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාව අසත්‍ය බවටයි.

විගණන විමර්ශණයට අනුව නුගේගොඩ අනුලා විද්‍යාලයේ එවකට සිටි විදුහල්පතිනි ජයනි ප්‍රෂංගිකා එම ධුරයෙන් ඉවත් කෙරුණු අතර, පසුව කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය ලෙස සේවය කළ අනෝමා දහනායක, අනුලා විද්‍යාලයේ විදුහල්පතිණිය ලෙස පත් කරනු ලැබුවා.

අනුලා විද්‍යාලයේ විදුහල්පතිනිය ලෙස ජයනි ප්‍රෂංගිකා සේවය කරන කාලසීමාවේදී අදාළ අක්‍රමිකතාව සිදුව තිබූ අතර, අදාළ සිසුවියන් හයදෙනාගේ මව්වරුන් පාසලේ ආදි සිසුවියන් ලෙස සිටි බවට කූට ලේඛන සකස් කරමිනුයි ඔවුන්ගේ ළමයින් පාසලට ඇතුළත් කර තිබුණේ.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button