දේශීය පුවත්ප්‍රධාන පුවත්

ඉන්දියාවෙන් පැන ආ පවුලක් යාපනයෙන් සොයා ගනී

ඊයේ (මැයි 12) යාපනයේ ගුරුනගර් ප්‍රදේශයේ නිවසක සිට ඉන්දියාවෙන් මෙරටට ධීවර යාත්‍රාවකින් පැමිණි හතර දෙනෙකු සොයා ගෙන තිබෙන බ‍ව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, ඔවුන් පසුගිය 7 වන දින මෙරටට පැමිණ ඇතැයි සැක කෙරෙන බවය.

වයස අවුරුදු 61ක කාන්තාවක්, 34 හැවිරිදි ඇයගේ දියණිය සහ එම කාන්තාවගේ වයස අවුරුදු 9ක් සහ වයස අවුරුදු 5ක් වූ පිරිමි දරුවන් දෙදෙනෙකු මෙලෙස පොලිසිය මගින් සොයා ගෙන ඇත.

පොලිසිය සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ, ඉන්දියාවේ කොඩිඩ්-19 වසංගතය උත්සන්න වීම හේතුවෙන් ඔවුන් මෙරටට පැමිණ ඇති බවය.

තව ද ඔවුන් යුද්ධ සමයේ මෙරටින් පිටවගිය කාන්තාවන් දෙදෙනෙකු බවට ද වාර්තා වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

ඉන්දියාවේ ධීවර යාත්‍රාවකින් රාමේශ්වරම් සිට පිටත් වී ශ්‍රී ලංකාවේ ධීවර යාත්‍රාවකින් මන්නාරම් ප්‍රදේශයට පැමිණ ඉන්පසු යාපනයේ ගුරුනගර් ප්‍රදේශයට පැමිණි බවට ඔවුන් පවසා ඇත.

ඒ අනුව, ඔවුන් නැවතී සිටින ගුරුනගර් ප්‍රදේශය නිවසට මේ වන විට පොලිස් ආරක්ෂාව යොදා ඇති අතර සෞඛ්‍ය බලධාරීන් ඔවුන්ව නිවෙස තුළ ම නිරෝධායනය සඳහා යොමු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

අද (මැයි 13) දිනයේ දී ඔවුන් පී.සී.ආර් පරීක්ෂණ සඳහා භාජනය කිරීමට නියමිතය.

යාපනය පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.

අම්රා ලියාකත්
Source – Mawbima.lk

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button