දේශපාලන පුවත්දේශීය පුවත්

සති දෙකකට රට වසා තිබෙන දෙයක් විකුණා හෝ රටටම එන්නත් ලබාදෙන්න – මුරුත්තෙට්ටුවේ හිමි

පැලැස්තර ප්‍රතිපත්තිය පැත්තකට දමා ජාතික ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් කොරෝනා ව්‍යසනය ඉක්මනින් තුරන් කිරීමට නම් සති දෙකක් තුනක්වත් රට වසා දැමිය යුතු බවත් තිබෙන දෙයක් විකුණා දමා හෝ මේ රටේ ජනතාවට එන්නත ලබාදී කොවිඩ් මාරයාගෙන් රට බේරාගන්න යැයි ඉල්ලීමක් කරන බවත් පිණ්ඩපාතයේ ගොස් හෝ ජනතාවට එන්නත ලබා දීමට අවශ්‍ය මුදල් සොයා දෙන්න තමන් වහන්සේලා සූදානම් යැයි රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවැසූහ.

උන්වහන්සේ මේ අදහස් පළ කළේ ඊයේ (12දා) නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

වැඩිදුරටත් අදහස් පළ කළ උන්වහන්සේ මෙසේද පැවැසූහ.

අඩු පහසුකම් තිබියදී ජීවිතය කැපකොට මේ රටේ අහිංසක ජනතාව වෙනුවෙන් උපරිම සහයෝගය ලබා දෙන ලෙස සියලුම හෙද කාර්ය මණ්ඩලවලින් ඉල්ලීමක් කරනවා. නයිටින්ගේල් ආර්යාවට දක්වන ලොකුම පූජාව හා අනුස්මරණයත් එයයි.

කොරෝනා වසංගතය අද වන විට ලංකාවම වසාගෙන යන තත්ත්වයකට පත්වී තිබෙනවා. මේ පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් වෙත කොතෙකුත් කරුණු පැහැදිලි කළත් තවමත් ඔවුන් එළැඹගත් මතයේ සිට ක්‍රියාත්මක වනවා මිස වසංගත රෝගය ඉක්මනින් තුරන් කර ශ්‍රී ලංකාවාසී ජනතාවට සුවසෙතක් සලසන බවක් මේ යන ඉඹි ගමන තුළින් පෙනෙන්නේ නැහැ.

හිසර’ දයට කොට්ට මාරු කරන්නා වගේ අද කරන්නේ සෑම තැනකටම පැලැස්තර දැමීමයි. එක පැත්තකින් පැලැස්තරය දමන විට අනෙක් පැත්තෙන් පැලැස්තරය ගැලවෙනවා. මේ තුළින් මේක නවත්වන්නට බැහැ. පැලැස්තර දමා ප්‍රශ්නය විසඳන්න බැරි නිසා තිබෙන දෙයක් විකුණා දමා හෝ මේ රටේ ජනතාවට එන්නත ලබාදී කොවිඩ් මා’ රයාගෙන් රට බේරාගන්න යැයි රාජ්‍ය නායකයන්ගෙන්, බලවතුන්ගෙන් හා බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරනවා.

දැන් ඇමැතිවරු වැඩි වී තිබෙනවා. මේ කාර්යයට ඇමැතිවරු තුන් දෙනෙක් ඉන්නවා. තුන්දෙනා කරන දේ තුන්දෙනා දන්නේ නැහැ. ජනාධිපතිවරයාට කවුරුන් උපදෙස් ලබා දෙනවා දැයි කියන්න අපි දන්නේ නැහැ. රට හදන්නට එතුමාට ඕනෑකම තිබෙනවා. නමුත් එතුමාට උපදෙස් ලබා දෙන කේවට්ටයෝ කවුරුන් දැයි දන්නේ නැහැ.

Courtesy – Mawbima

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button