දේශීය පුවත්

රටම ලොක්ඩවුන් කිරීම අවශ්‍ය නැහැ – රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී

“පසුගිය දින කිහිපය තුළ රෝගීන් වාර්තාවීම 1800-1900 ආදී තත්ත්වයක දෝලනය වෙමින් තියෙනවා. වසංගතවේදී තොරතුරු අනුව අවශ්‍ය කරන ග්‍රාමසේවා වසම් මට්ටමෙන් ‘ලොක්ඩවුන්’ කිරීමට අවශ්‍ය කටයුතු යොදනවා” යැයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කීවාය.

චීන රජයේ පරිත්‍යාගයක් ලෙස ලැබුණු ‘සයිනොෆාර්ම්’ එන්නතේ පළමු මාත්‍රාව මහජනතාව වෙත ලබාදීම ආරම්භ කරමින් පසුගිය 08දා පානදුර සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේදී ඇය මේ බව කීවාය.

චීනයෙන් ලැබුණු ‘සයිනොෆාර්ම්’ එන්නත් එවැනි මාත්‍රා ලක්ෂ හයක ප්‍රමාණය ජනතාවට ලබාදීම ආරම්භ කරමින් පානදුර සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසයේ වයස අවුරුදු 30ත් 60ත් අතර සිය දෙනකුට එන්නත් ලබාදීම මෙහිදී සිදුවිය.

මෙම අවස්ථාවට සහභාගි වූ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මේ අදහස පළකළාය. හදිසි අවශ්‍යතාවක් ලෙස මෙය භාවිත කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වනවිට අනුමත කර තිබෙනවා. ඒ අනුව මෙරට භාවිතය ආරම්භ කළා.

රෝගීන් වැඩිවශයෙන් වාර්තා වන සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශවල ග්‍රාමසේවා වසම් මට්ටමින් එන්නත් ලබාදීමට කටයුතු කරනවා. ‘ස්පුට්නික්’ එන්නත ලබාදීමත් මේ වනවිට ආරම්භ කර තිබෙනවා. ගම්පහ, කළුතර, කොළඹ, කුරුණෑගල, නුවර සහ මාතලේ දිස්ත්‍රික්කවලින් මේ වනවිට රෝගීන් බහුලව වාර්තා වෙනවා. එම නිසා මේ දිස්ත්‍රික්කවලටම එන්නත ලබාදීමේ ප්‍රමුඛතාවට ලබාදීම කටයුතු කරනවා.

මේ වසංගතයෙන් මිදීමට තිබෙන එකම විසඳුම එන්නත ලබාදීමයි. එනිසා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඊට පූර්ණ මැදිහත් වීම හා නායකත්වය දී කටයුතු කරනවා.

එළඹෙන සති හතරක කාලය තුළ මුව ආවරණ දෙකක්වත් පැලඳ අත්‍යවශම කරුණකට පමණක් නිවෙසකින් එක් අයකු පමණක් බැහැරට ගොස් සංචරණ සීමා කරගතහොත් පවතින වසංගත තත්ත්වය පාලනය කරගත හැකි වෙනවා.

රටම ලොක්ඩවුන් කිරීමේ අවශ්‍යතාවක් නැහැ. වැඩියෙන් රෝගීන් හමුවන ග්‍රාමනිලධාරී වසම් ලොක්ඩවුන් කිරීම් කරනවා. ජනතාවගේ කැපවීම මත තත්ත්වය පාලනය කරගත හැකියි. සෞඛ්‍ය නීති රීති පිළිපදිමින් තමන්ගේ ගමන් බිමන් හැකි පමණ අඩු කිරීමෙන් තත්ත්වය පාලනය කරගත හැකියි.

වර්තමානය වනවිට අවශ්‍ය රෝහල් ධාරිතාව ඉහළ දැමීමටත්, දැඩිසත්කාර ඒකක ඇඳන් වැඩි කිරීමටත්, ඔක්සිජන් ධාරිතාව වැඩි කිරීම ආදී සියලු අවශ්‍යතා ඉටුකිරීමට පියවර ගෙන තිබෙනවා. ඔක්සිජන් ධාරිතාවත්, රෝහල් ධාරිතාවත් දැඩි සත්කාර ඒකක ඇඳන් ගණන සොයමින් නොගොස් නිවෙස්වලට වී සිටියහොත් වසංගතය පාලනය කළ හැකි බවද ඇය කීවාය.

රාජ්‍ය ඔෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේකර මහතාද මෙහිදී අදහස් දැක්වීය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන පියල් නිශාන්ත ද සිල්වා, ජයන්ත සමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන අනූප පැස්කුවල් හා සංජීව එදිරිමාන්න යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

මතුගම – වසන්ත කුමාර, පොතුපිටිය – සුමිත් රණවක, වාද්දුව – ජනක හෙට්ටිආරච්චි

Courtesy – Mawbima

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button